Thursday, December 9, 2010

ඉන්නට ඇත්නම් ඔබ ළඟ.....


ගැහි ගැහී ගුලිවී
සීතලෙන් මිරිකෙමින්
ගතට දැනෙන මහන්සිය
ඉවසාගත හැකිද
හිසට දැනෙන
බර ගතිය
නාසයට දැනෙන
තදගතිය
ඉවසා ගතහැකිද
මගේ රත්තරනේ.....

ලඟින් ඉඳගෙන
හෙමි හෙමින්
හිස පිරිමදිමින්
හෙදියක මෙන්
උවටැන් කරන්නට
ඇත්නම්
ඔබේ ළඟ දැවටෙමින් ....

ඔබේ ඔය දුක් ගොන්න
දෝතින්ම මම අරන්
ඔබේ හද මඩල මම
සැහැල්ලුව තබන්නම්......

Wednesday, November 3, 2010

නිහඬ බව.........


කෙහෙරැල් රොදක්
ඔහු මුහුණේ දැවටුණත්,
කකුල මත අතක්
තදකර තැබුවත්
ගල් ගැසී සිටින්නේ
ඇයි දැයි........

කෙසේවත් ඉවසිය හැකිද
ඒ නිහඩ බව
නැත හොරැහින් හෝ
ඇය දෙස බැලුවේ
ටිකවේලාවක් ඇයද
කේන්තියත් දුකත් අතර
ගැඹුරු සිත් පත්ලේ කිමිදී
සොයන්නට වූ
ඒ පිළිතුර වූයේ........

මා හමුවන්නට නැවත
එන්නට එපා යැයි
මුමුණමින් කියන්නටය

හිස වැනුවත් ඔහු
කුමක් කීවාද යැයි
සිතා ගත නොහැකි විය
කිසිත් ඇයහට
එහෙත් තවත් වෙලා
ගල් ගැසී දෙදෙනාම සිටින්නේ
කිසිවක් කර කියාගත
නොහැකිව
ඉවසිය නොහැකි
කෝප දුකිණි.....

Friday, October 29, 2010

මෙවන් සිතක්..........


මට ඉන්නට බෑ
යන්නට ඕනී
එක තැනක එක මො‍හාතක්
ඉන්නට බෑ
සැම තැනම දුවන
මේ චලිත සිත
කවදා නවතීද?
දැන්මම නවතීද
තව වැඩ
බොහාමයක් තිබේ
කර කියා ගැන්මට
ඒ ඉතිරි වැඩ
ඉක්මනින්ම
නිමකර දමන්නට
කාලයයි මේ........

Thursday, October 28, 2010

සෙනෙහස් බඳුන......


පුරවා සෙනෙහස
වීදුරු බඳුනකට
කාලයක් තිස්සේ........

ඉරිතැළුනද
විටින් විට සෙනෙහස් පිරුණු
වීදුරු බඳුන,
පිරියම් කරමින්
මෙතෙක් කල්
පුරවාගත් ඒ සෙනෙහස් බඳුන
ඉරිතැලී බිඳී ගියේ මන්ද?

ඒත්..........

සෙනෙහස් බඳුන බිදී ගියද
තවමත් අවට ඉතිරිව ඇත
සෙනෙහස් බිඳක් හෝ....

ඒ සෙනෙහස් බිඳ
මහා ගංඟාවක් සේ සෙනෙහස
ගලාවිද
ඒ සෙනෙහෙ බිඳත්
වාෂ්ප වී යාවිද?
නැතිනම්
සදාකල් ඒසෙනෙහස් බිඳ පමනක්
සි‍තෙහි ලැගුම් ගනීද...?

Tuesday, October 19, 2010

දුප්පත් කොල්ලා........


තිබුණද පා දෙකම
ඔහු හට
පාවහන් දැම්මේ
දෑතෙ මන්දැයි ...
එහෙත්
සිහිවිකල් නැත
කිසි දිනක ඔහුගේ,

දෙපා යුග විකලවයි ඇත්තේ
ලෙලි ගැසෙන මුත්
වාරු දෑතම
දෑතෙ පාවහන් දමා ඇත්තේ .....

දෑත බිම තබා
යන්නෙ පැන පැන ....
මහ පොළොවෙ ඇදි ඇදී....
එසේ පැන පැන
යන ගමන් ඔහු
අතක් දිගු කොට
හිසත් නමලා
යමක් ඉල්ලා
හිඟමනේ යයි ......





මෙය බලන්ගොඩ නගරයේ එක් සත්‍යය සිදුවීමක් ඇසුරිණි...

Sunday, October 17, 2010

මගේ රන් පුන් සඳේ.......


වළාකුළු තැනින් තැන
ඇති අහස් කුස් ඉමේ

එබි එබී බලන ඒ
රන් පාට පුන් සඳේ .........

මගේ හිත අව්ස්සන
ඔබෙ ඔමරි බැල්ම යට
යන්න යැයි කියනවද ?
මා හට
ඉන්නයැයි කියනවද ?

මගහැරී විටක ඔබ
වළාකුළින්,
එළිය දී මගෙ ලොවට
යළි වළාකුළෙහි සැඟව
අඳුර දෙන්නේ මන්ද....
කියනු මගෙ පුන් සඳේ.........
කියනු මගෙ පුන් සඳේ.........

Thursday, October 14, 2010

මල් පොහොට්ටු.........


පිපී නැති ඒ මල්
පොහොට්ටුවෙ
වටේ සිටිනා
බඹර කුමරුන්
පිපෙන්නට පෙර
මල් පොහොට්ටුවවෙ
සෙමින් සෙමින්
රොන් උරා බොන්නට
කැරකැවෙන ඒ
බමර කුමරුන්.........

කුඩා වුවත් ඒ
මල් පොහොට්ටුව
බඹරු දුටුවිට
ඔමරි කරනා ....
බඹර කුමරෙක්
එයට ළං වී
රොන් උරා බී
ඉවවත ගිය පසු
පිපුණු මලකට
පියාඹා
එහිද රොන් බෙයි
සොඳින් සිඳගෙන.....

බලාපොරොත්තු............


මහමෙරක් සේ
බලාපොරොත්තු
පොදි බැඳන්
ගල් කුළක් සේ නොසෙල්වී
චිරාත් කල් වැජඹෙන්නට
වෙරදරයි...........

ඒ මහා ගල් පව්ව
විශාල අයිස් කන්දක්
වන්නට ඉඩ දිය නොහැක ..........

අනේ එහෙම උනොත්
ඒ අයිස් කුළ
ටිකෙන් ටික
දියවී සේදී යයි....?

අනේ මට බයයි............

Thursday, September 30, 2010

ළමා ළොව..........


වැලි සෙල්ලම් බත් උයල
කෝන් පිටිටු ඉදවාපු
කුඹුරෙ පිදුරුගොඩට ගොස්
පිනුමි කරනම් ගැහුව
කැලෑ රොද පීරලා
අඹ රඹුටං දං කෑව
දුව පැණ නැටුව අපෙ ළමා කාලය
නැත නැවත කවදා එන්නෙ
කිසිම දින කිසිවෙකුට ...............

දැන් ඇත පොඩ්ඩන්ගෙ
සෙල්ලම් තුවක්කු
කාර් ගේමි කාර්ටූන්
රජකරයි ළමා ලොව
ගිළ දමා එළිමහන්
නිදහස .....

අත් පා සොළවන්න
නටන්නට පනින්නට
කළක් නැත ළමා ලොව
පොත පතට හිර වෙලා
අද වගේ එක් දිනක්
සෑ‍‍හේද ළමයින්ට
ළමා ළොව ජය ගන්න

කිමිදැයි යන්නේ ගම් බලා.........


සොයයි දඩිබිඩියේ
කිසිවක්
අතපතගසා තම බෑගය තුළ........
සෙයූදේ හමුනොවූවද,
නොයිවසිල්ලෙන්
යලියලිත් සොයන දෑ
කුමක්දැයි.....

ඇදෙයි නුදුරින්
බස් රියක්
අදහගනු ‍නොහැකි විය,
තවත් නැත
අතට හසුවුයේ......
තිබුනෙ එපමණයි
සන්තටම ඇය ළඟ,
නෙත් යොමා
බැලූ සඳ
බෑගයට
විෂ්මයකි ........
අනේ එම කබල් බෑගයෙහි
කපල්ලෙකි පොළව පෙණෙනා .....

Monday, September 27, 2010

සති පොළදා........


පෙරදා රැයේ නොනිදා
බතක් බැඳ‍ගෙන
උදේම ඇවිදින්
අහුරා හිමි තැනම
ඇයගේ බඩු පොදිය ......
කෑගසා ගිරිය පුප්පා
එදා වේල සොයන්නට
පැමිණි ඇය.........
නැවත යන්නේ
සතිපොළ හමාර වූ විටය

ඇගේ සිඟිති දියණිය
වැට අයිනට ඇවිත් ‍
දෙනෙත් අයමින්
බලා සිටින්නේ
මව එනතුරුය............

මවගේ හිස මත ඇති
බඩු පොදිය දැක
ටිකිරි සිනා රැළි නංවන්නේ
චූටි දුවට
සෙල්ලම් බඩු ගෙනාවැයි සිතාය.‍...........
එහෙත්,
විකුණාගත නොහැකි බඩු දැක
ටිකිරි සිනා මුව මුකුළිතව
නෙත කඳුලින් බර විය........




Sunday, September 12, 2010

ඩෙංගු විෂ.........


මුලු මුලුව සැගවී
ඇඳිරියෙහි එළියට පනින
කුණු කණුව කියමින්
කරච්චල කෙඳිරිල්ල
ඇග වටේ ඇවිදින්
රිදුම්දී සිපගන්න
ආදරෙයි කියමින්
විෂ දළ වලින් විදින.....

තිගැස්සී අතින් දී පහරක්
චටස් ගා මැරූවද
ඇග පුරා පැතිර යයි
ඩෙංගු මදුරුවාගේ විෂ
බෙහෙත් දී සුව කළත්
යම් අයෙක්,
නැත බෙහෙත් ඔරොත්තුව
සුවකරන්නට අයෙක්
මෙළොවින්ම සමු අරන්
නෙත්පියූ ඒඅයට
හදවතින්ම පිං දෙමු
මෙවන් දුක් නොවන්නට .............


Thursday, September 9, 2010

අපේ අම්මාවරු...................


පාලු රැයේ පාලු කපනා
මියුරු ගීය නුඹයි...
අන්දකාර රැයේ අඳුර දුරලන
පසලොස්වක සඳ නුඹයි ...
උදෑසන මල් සුවඳ ගෙනදෙන
ඒ සුවඳ මල නුඹයි ...
මද්දහන අවුපූට දුරලා
සෙවන දෙන මහ රුක නුඹයි...
එහිදි දැනෙනා පිපාසය දුරලන
ඒ සිසිල් පැන් ‍පොද නුඹයි...
සියලු දුක් ගිණි නිවා දමනා
සිතුමිණ අපෙ නුඹයි අම්මේ............

Wednesday, September 8, 2010

දුක් උසුලන පියවරු............


නෙතුපියන් යට
කඳුලු සඟවා
සිනහ මුව ලොවට පෙන්වා
දරා සිටියද හිස මත
මහමෙරක් දුක් ...................
නොපෙන්වා එය
කිසිම කෙනෙකුට
ඉඳීවි සැහැල්ලුවෙන් මෙන් ...........

ලොවම නිදි ගත් රැයේ අවදිව
නෙතුපියන් යට
නිදන් කළ කඳුලින්
දෙකම්මුල සෝදා
දුක් කන්ද
දියකර දමන්නට
දරන වෑයම
කවදා නිම කරන්නද
රත්තරං පියානණි ..............

Tuesday, September 7, 2010

දැන් කාලේ කොල්ලෝ..........


හායි කියල ඇවිදින්
සිත දිනාගෙන
මේන්න කියා දීලා ආදරෙ
හද පත්ලටම.........
ඌයි කියන තරමට
හිත රිදවාලා
සිත හැදෙන්න කිසිවක්
නොකියාම
බායිකියල යනවා
සිත රවටාලා............


Wednesday, September 1, 2010

විකසිත මල් හා පරවූ මල්.....



විකසිත මල් ගොන්නෙ සුවඳ
හදවතේ ලැගුම් ගෙන
සුවඳ කළා
නොඅඩුව ‍........

පෙති පරවී ගිළිහී
යන මල් ‍‍‍ගොන්නෙ
සුවඳ අඩුවී
ටි‍කෙන් ටික ......
හදවතේ රිදුම් දී
දුගඳ දසත හමයි.........

Wednesday, August 25, 2010

නුඹ කවුද..?


සිතනවිටදී
නුඹගැන
නුඹ කවුරුදැයි කියා .....
නුඹම මට තතු කියා
නුඹ ගැනම
බොහෝදේ කියා දුන්නද,
සිතාගන්නට බැරිය මට
නුඹ ගැන
සිතන්නේ කෙසේදැයි කියා ....
හමු වුවද දෙතුන් විට
එහෙත්
හදුනාගත නොහැක
නිස්චිතව නුඹ
කවුරුදැයි කියා........

Thursday, August 19, 2010

ආදරය වෙනස් වූවිට දී.......


සයුර කෙතරම්
වෙරළට ආදරේද
වෙරළ සිප වැළඳගෙන
දියඹට ගොස්
පුන පුනා වෙරළ
ආදරෙන් සිප ගනී
ඒ ආදරය හරිම ලස්සනයි ...........
ඒත්...
මොහොතකට හෝ
එය නොනවතින විටදී
ආදරයෙන් සිටි පෙම් යුවලක්
වෙනස් වූවා මෙන්
ඇතිවේවි
සුනාමියක් ......

Wednesday, August 18, 2010

දුක........


සිත් පත‍්ලෙන් නැගෙන ඒ
මහා දුක් ගොන්න
මහා හඩින් කෑ ගසා
කියන්නට සිතෙයි මට.........

කෑ ගසා කියූවද
ඒ මහා දුක් ගොන්න
මියුරු පද වැලක් වී
නුඹෙ සවන ඇසේවා.........


Tuesday, August 3, 2010

සුවඳ මලක්..........


ගියද පරවී
එමල සුවඳයි
පිපී ඇති
මෙමලට වැඩියෙන්
එහෙත් පරවූ
සුවඳ මලහී
රැඳී ත්බුනත්
සුවඳ තව තව
කැමති නැත
එම සුවඳ විඳිනට ..........

පිපුණු මල මත
සුවඳ නැතිමුත්
නිති සුවඳ දෙන
මලක් ඇතිදෝ........
කෙසේ එවැනි මල්
සොයා ගම්දෝ ......

සිතක අරුම......


ගුහාවකි නිවහන නුඹේ
එහෙත් .......
නැත එහි කිසිවිට රැඳී
සිරකර තැබුවත්
දොරගුළු දමා
යයි වෙනත දුවන්නට
කෙසේ හෝ බිඳ දමා
තැනින් තැනට ගියත් නුඹ
මොහොතකින්
නැවත එයි.......
මොහොතකින්
නැවත යයි......
නිදහසක් නැත නුඹට.......
නිදහසක් නැත නුඹට.......

Monday, August 2, 2010

වරද සඟවාගත නොහැක.....


පහන් වැටෙන්
එක් පහනක්
හැරගත්තද
එහි අඩුවූ ආලෝකය
මහත් ‍නොවේ...
එහෙත්
එදෙස දුර සිට
නෙත් යොමන්නෙකු හට
පෙනේ අඩුවක්
පහන් වැට තුළ
මන්දයත්,
එහි රටාව
බිඳ වැටී
ඇති නිසාවෙන්ය
එසේම.....
වරදක් කළ විට
තම සිතින් හෝ
සඟවා ගත නොහැක
සත්තකි.....

Wednesday, July 28, 2010

වාසනාවේ.......


කඳුළු අතරින් සිනාසෙන


මව්වරුන් ළොව වාසනාවන්


නුඹයි ළොවටම දිරිය දෙන්නේ


නුඹේ ශක්තිය වාසනාවන්...........

Tuesday, July 27, 2010

හාතවාරි කටු ඇනුණා........


ඇ‍‍ඟේ ලේ වඩවා
හොඳින් උස් මහත් කරවා
මන්දැයි වෛර කෙරුවේ
කිම්දැයිමගෙන් වුණු වරදා......
ගියේ කළගුණ සළකන්යි
ළඟ ඇති වල් ගලවන්නයි
වුනේ කටු ඇනගන්නයි
නැවත ලේ ටික දෙන්නයි
සියුමැලි සුළැඟිල්ල තුළටම .....
කිඳවා ඔබේ කටු තුඩ
නුබම දුන් ලේ
නැවත ගත්තේ මන්ද?
සොළවන්නවත්
නොහැකි විය
සියුමැළි සුළැඟිල්ල
ඇත ඉදිමී රිදුම් දෙමින්
මන්ද මෙවන් ශාපයක්......

හාතවාරි කටු ඇනුණා........



ඇ‍‍ඟේ ලේ වඩවා
හොඳින් උස් මහත් කරවා
මන්දැයි වෛර කෙරුවේ
කිම්දැයිමගෙන් වුණු වරදා......
ගියේ කළගුණ සළකන්යි
ළඟ ඇති වල් ගලවන්නයි
වුනේ කටු ඇනගන්නයි
නැවත ලේ ටික දෙන්නයි
සියුමැලි ඇඟිල්ල තුළටම .....
කිඳවා ඔබේ කටු තුඩ
නුබම දුන් ලේ
නැවත ගත්තේ මන්ද?
සොළවන්නවත්
නොහැකි විය
සියුමැළි ඇඟිල්ල
ඇත ඉදිමී රිදුම් දෙමින්
මන්ද මෙවන් ශාපයක්......

Thursday, July 22, 2010

නෙළන්නට නොහැකිවුණි........


විලක් අඅසලට ගියෙමි
දිනකදි....
පිපී ඇත එවිලෙහි
නෙළුම් මලක් ලස්සන
එමලමට සිනාසුණි,
මමද එයට සිනාසුණි
මල හා මා ටික දිනක්
එකිනෙකට බලාසි‍ටියා‍....
කතා කෙරුවා.....
දියෙහි ගැඹුර
මා දැන සිටියා
ඒත්.......
නොදනී මා පිහිනන්න‍ට
එනිසාම,
නෙලන්න‍ට ‍‍නොහැකි වුණි
එවිල මැද ඇති
නෙළුම් මල,
දුක්සුසුම් මැද
තනිවුනෙමි
වෙර දරමි ......
සිත සනසගන්න්ට.....

Tuesday, July 20, 2010

අන් සතු විය..


මහා ගංඟා පීනලා
ඟං පත්ලෙ කිමිදිලා
සොයා ගත් ඒ මැණික
පැහැපත්ය යහගුණය,
එළිය විය ඒ මැදුර
සිතුමිණ සේ දිළෙන...
කල් යත්ම ඒ මැණික
ගුණද පැහැපත් බවද
අඩුවීය ‍ටිකෙන් ටික,
ඉරි තැලී ගියෙ මන්ද
අඳුරු විය ඒ මැදුර,
ඔහුගෙ ආදර මැණික
හොරෙන් ගෙන
වෙන අයෙක්,
ඟං පත්ළෙ හා
ඔහුගෙ සිත් පත්ළෙ
නැත කීවෙ ගුණ යමක්
කිසිම දින ඒම මැණිකෙ
ඵලක් නැත එයින් දැන්...

Monday, July 19, 2010

විෂම ලොව...


අහස් වියන යට
පොළෝ තලය මත
අප වසනා ලොව
විෂමය සැම දින...
අළුත් දෑ ඇති වෙලා
පරණ දේ නැති වෙලා
මියැදෙමින් මනුදම්
ලියලමින් අමනුස්කම්
සතුට දයා කරුණා ,
මෛත්‍රීය
මිරිකාලමින් නැගෙන
දුක් වෛර ක්‍රෝධ
ඇත ජයගෙන
නිසි ලෙස,
දුකකි මෙලොව
සැම දින දිවියම
සිතා බලනණු මැන
සත්තකි එය...

Sunday, July 18, 2010

වැසි දින මව හා මා...


සීතල මීදුමේ සිටින විට
ඔ‍බෙ තුරුළෙ|
උණුසුම දැනේ මට
මගෙ මව්ණි නිබදවම...
ඔබේ ඔය හද රාවෙ
මගෙ සවන ඇසෙන්නේ
තදකර ගනී මා
තවත් පපු තුරුල්ලට...

මගෙ හිසින් බේරෙනා
වැහි බිංදු දෙස බලා
සාරි පොට ගෙන අතට
මගේ හිස පිස දමයි...

දයා කරුණා ගුණෙන්
ඔබේ ඔය සිත තෙමේ
නොතෙමෙයි වැසි දි‍යට මා
ඇගෙ උතුම් ගුණ නිසා...

Tuesday, July 13, 2010

අදරින් අමතමි....


කුසුම් මිටක් ‍ගෙන
පහනක් දල්වා
බුදු ගුණ ගයමින්
බුදු හිමි නැමද...
මා ඇතිදැඩි කළ
දිවිය එළිය කළ
මව්පිය ‍‍‍දෙපළ
අදරින් නැමද...
ගුණ නුවණ පාදමින්
යහමග යවන ගුරු මව්පියන්
අදරින් නැමද...
සියලු ලොකු කුඩා
අයෙක් වේනම්
මා දිරි ගැන්වූවන්
අදරින් අයදිමි...
සිත පුරවා ගත්
සෙනෙහස්
බැතියෙන්...

පැහැසර අරණ නමින් නව බ්ලොග් අඩවියක්..

පැහැසර අරණ නමින් කවි සංකල්පණා වලින් පිරුණු නව බිලෝග් අඩවියක් අද සිට ආරම්භ කරම්. මම අනෝම් ප්‍රියන්ති ගමගේ වෙම්. මම බළන්ගොඩ ප්‍රදේශයේ සිට ඔබට මෙම බිලෝග් අඩවිය ගෙන ‍ඒමට අදහස් කරමි. මාගේ කවි, නිසදැස් පිළිබද ඔබගේ අදහස් යොමු කරන්න.